News
05 | 15
2020
පිටරට රැකියා කරන සහ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකිකයින් කොරෝනා නිසා පැමිණ ආපසු යාම ගැනත් සිතන්න

 

 විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ

 

විදේශයන්හි රැකියාවල නිරතව සිටින සහ අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශ‍්‍රී ලාංකිකයින් කොරෝනා වෛරස රෝගය හමුවේ යළි දිවයිනට පැමිණීමේදී ආපසු එම රටවලට ගොස් සිය සුපුරුදු කටයුතුවල නිරතවීමට ඇති හැකියාව ගැනද අවධානය යොමුකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලා සිටියි.ඒ සම්බන්ධව ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.



සැමවිටම විදේශ අමාත්‍යාංශයේ මතය වූයේ නැවත පැමිණීමට අවසර දීමෙන් පසුව සියරට පැමිණවීම ආරම්භ කළ විට, එය කළ යුත්තේ උපරිම අවදානම් තත්ත්වය අනුවය යන්නයි. දකුණු ආසියානු සිසු සිසුවියන්ට ප‍්‍රමුඛතාවය ලබා දෙන ලෙස අප නිර්දේශ කළේ ද එම පදනම මත වන අතර, එම පළමුවැන්න අවසන් වූයේ මීට සතියකට පමණ පෙරදීය. මේ වන විට තවත් ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක් ද ආපසු රැුගෙන පැමිණ ඇති අතර, ඔවුන් අඛණ්ඩව නැවත රැුගෙන එනු ඇත. විදේශ සබඳතා සහ විදේශ රැුකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයීය පත‍්‍රිකාවේ විශේෂත්වය වූයේ, මීට මාසයකට පෙර ඉදිරිපත් කළ අපගේ මුල් අමාත්‍ය මණ්ඩලයීය පත‍්‍රිකාවේ අප පැවසූ කරුණක් යළි අවධාරණය කිරීමයි. සමහර විදේශීය රටවල සිටින සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් යනු දැඩි අර්බුදයකට ලක්ව ඇති කාණ්ඩයක් වන බැවින්, ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැුගෙන ඒමකට සමගාමීව අප ඔවුන් වෙත ද විශේෂ අවධානය යොමු කළ යුතු වන අතර, ඔවුන් නැවත ගෙන්වා



ගැනීම සඳහා ද පහසුකම් සැලසිය යුතුය. මෙම සන්දර්භය තුළ, විශේෂයෙන්ම, මාලේ දූපතෙහි සිටින 1,200 ත් 1,500 ත් අතර සංඛ්‍යාවක් ඇතුළුව, ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින මාලදිවයින, වඩාත්ම අවදානම් සහගත ස්ථානය ලෙස වර්තමානයේ දී මම දකිමි. තවද, මැදපෙරදිග සෙසු රටවලට පොදුවේ බලපාන කොවිඞ් වසංගත තත්ත්වය පිළිබඳ අවදානමට අමතරව, කුවේට් වැනි ස්ථානවල කුවේට් රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද පොදු සමාවක් ද පවතින අතර, මෙම පොදු සමාව අහිමි වුව හොත් ඔවුනට එරටින් පිටතට පැමිණීමටත්, යම් දිනෙක නීත්‍යානුකූලව නැවත එහි යාමටත් අපහසු වනු ඇති බවට විදේශගත ශ‍්‍රමිකයින් තුළ කනස්සල්ලක් ඇති බව අපි දනිමු. මේ අවස්ථාවේ දී කුවේට් රජය, ඔවුන් ගුවන් මඟින් නැවත ශ‍්‍රී ලංකාවට එවීමට ද ඉදිරිපත් වී තිබේ. විදේශ ඇමතිවරයාට මේ සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ලැබී ඇත. අපි මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන නමුත්, මෙහි පැමිණීමට අපේක්ෂා කරන සියලූ‍ පුද්ගලයින් මේ මොහොතේ දී රැගෙන ඒමට අපට නොහැකි වීම පිළිබඳව ද කුවේට් රජය ඉතා සවිඥානිකව සිටී. එබැවින්, අප එය පියවර වශයෙන් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයන් දෙක අතර සාකච්ඡා පැවැත්විය යුතුය. තවද, මෙම කොවිඞ් ගෝලීය වසංගතය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බංග්ලාදේශය වැනි ස්ථානවල සේවය කරන දහසකට වැඩි ශ‍්‍රී ලාංකික විදේශිකයින්ගේ පිරිසක් පිළිබඳ ගැටලූ‍ව ද පවතින අතර, ඉන් 300 දෙනෙක් පමණ කාන්තාවන් හා ළමුන් වේ. මැදපෙරදිග හා වෙනත් රටවලින් අවදානමට ලක්විය හැකි සංක‍්‍රමණික ශ‍්‍රමික කාණ්ඩයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ද, අපි ඒ හා සමානව අවධානය යොමු කරන්නෙමු. මෙම අමාත්‍ය මණ්ඩලයීය පත‍්‍රිකාවේ අඩංගු දෙවැනි අංගය වූයේ, හෝටල්වල නිරෝධායනයකට යාම සඳහා මුදල් වැය කළ නොහැකි අය සඳහා දේශීය නිරෝධායන පහසුකම් වෙන් කර ඇති බවට සහතික කිරීමයි. තෙවනුව, සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ වර්තමාන වාසස්ථානවල රඳවා තබා ගැනීම සඳහාත්, උපරිම වශයෙන් අවශ්‍යතා ඇති අයට අඛණ්ඩව සැපයුමක් ලැබෙන බවට සහතික කිරීම සඳහාත්, පසුගිය සති කිහිපය තුළ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ද සහය ඇතිව, විදේශ දූතමණ්ඩල විසින් සිදුකරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත‍්‍රික නියෝජනය පිළිබඳව මෙම අමාත්‍ය මණ්ඩලයීය පත‍්‍රිකාවෙහි සඳහන් කර ඇත. මෙම අවස්ථාවේ දී එය ඉතා වැදගත් යැයි මම සිතමි. මන්දයත්, වීසා බලපත‍්‍රය දීර්ඝ කිරීම, ඉඩම් හිමියෙකු විසින් කුලිය ඉල්ලා සිටීම, ව්‍යාපාරික හවුල්කරුවෙකුට ලැබිය යුතු කිසියම් මුදලක් ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටීම, නවාතැන් සොයන අයෙකුට රැුඳී සිටීම සඳහා වෙනත් පවුලකට සම්බන්ධ කිරීම හෝ ආහාර නොමැති අයෙකුට වියළි සලාක සහ සමහර විට අවශ්‍ය අයෙකුට ඖෂධ ලබා දීම වැනි වරින් වර පැන නගින ගැටලූ‍, දූත මණ්ඩලවල මැදිහත්වීමෙන් විසඳා ගත හැකි බැවිනි. මැදපෙරදිග පමණක් නොව ලොව පුරා පිහිටි අපගේ දූත මණ්ඩල, විදේශයන්හි සිටින සියලූ‍ම ශ‍්‍රී ලාංකිකයින්ට වටිනා සහයක් ලබා දෙයි. ස්වභායෙන්ම, අපගේ මූල්‍යමය ශක්තිය සීමිත වන නමුත්, ශ‍්‍රී ලංකා සංවිධාන මෙන්ම එම රටවල පිහිටි පරාර්ථකාමී සංවිධාන, දේවස්ථාන සහ වෙනත් ආගමික ආයතන සමඟ එක්ව අපි එම අවශ්‍යතාවය සපුරාලීමට උත්සාහ දරන්නෙමු.



සංක‍්‍රමණිකයෙකු යනු, ශිෂ්‍යයෙකු, ශිෂ්‍යාවක හෝ විදේශයක රැකියාව කරන අයෙකු යන්නයි. කෙටිකාලීන සංචාරවල යෙදී අතරමඟ සිරවී සිටින පුද්ගලයින් 3,000 දෙනෙක් පමණ ද විදේශවල සිටින අතර, ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැත. ඔවුන්ට නැවත නිවසට පැමිණිය යුතු වේ. අපි ඔවුන්ව ද හැකි තාක් දුරට වර්තමානයේ රැගෙන එන කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට උත්සාහ කරන්නෙමු. ඔවුන් නිරෝධායනය සඳහා භාවිතා කරන හෝටල්වලට යාමට කැමති වනු ඇතැයි සිතිය හැකි නමුත්, ඒවා ද දැන් පිරී යමින් පවතී. නමුත් යම් විකල්පයක් ඇති අය සඳහා මාගේ අවවාදය වන්නේ, තමන්ට අදාළවන තත්වයන් පිළිබඳව විෂය මූලික තක්සේරුවක් කිරීමයි. විශ්වවිද්‍යාල ක‍්‍රියාත්මක වන සහ එම කාලසීමාව අවසන් නොවූ රටක සිටින අයෙකුට නම්, එම පුද්ගලයා එහා මෙහා යාමට උත්සාහ කළහොත් තම අධ්‍යාපන අවස්ථාව අහිමි විය හැකිය. එමෙන්ම, මැදපෙරදිග හෝ ඕනෑම රටක, කම්කරු හෝ කාර්යාලයක් තුළ හෝ වේවා රැකියාවක නියුතු අයෙකු නම්, මේ ආකාරයෙන් ඔබ ආපසු පැමිණෙන විට, එම රටවල් ද පසුබෑමට ලක්ව ඇති බැවින් කාර්ය මණ්ඩල අඩු කරමින් සිටින අතර, ඔබට එම රැකියාවට ආපසු යාමට නොහැකි විය හැකිය. ශ‍්‍රී ලංකාවේ තත්වය ද එසේමය. නමුත් ඔබට දැනටමත් රැුකියාවක් නොමැති නම්, එහි තාර්කිකත්වය මට දැකිය හැකි නමුත්, ඔබ නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන විට මෙහි ද රැකියා සොයා ගැනීම පහසු නොවන බව, විදේශයන්හි සිටින පුද්ගලයින් තේරුම් ගැනීම වැදගත් යැයි මම සිතමි.



එබැවින්, නගර 67 ක පිහිටි අපගේ දූත මණ්ඩල ජාලය හරහා එතෙර සිටින පුද්ගලයින් වෙත අප කරන ආයාචනය වන්නේ, මෙම සාධක පිළිබඳව ඔවුන් විසින් ඉතා ප‍්‍රවේශමෙන් සලකා බලන ලෙසයි. ආපසු පැමිණීමට තරයේ ඉල්ලා සිටින අය සඳහා අපි විෂය මූලික ආකාරයකින් ප‍්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. මෙය සිදු කරනුයේ, මුහුණු හෝ සම්බන්ධතා දෙස බැලීමෙන් නොව, මේ අවස්ථාවේ දී ඔවුන් නැවත සියරට පැමිණවීම සඳහා ඇති සැබෑ අවශ්‍යතාවය මෙන්ම, ඔවුන් රැගෙන ඒමට හා නිරෝධායනය කිරීමට අපට ඇති හැකියාව පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව වන අතර, ඔවුන් නිසා මෙරට සිටින අයට අනතුරක් නොවිය යුතු මෙන්ම, ඔවුන් රට තුළට පැමිණෙන අතරතුර දී අනවශ්‍ය ලෙස අනතුරට නිරාවරණය ද නොවිය යුතුය.
 

back to news
print
print